
සංසාරය තව දුරයි
නමුත් දිවිය සුන්දරයි
මේ වාගෙම හැමදාමත්
අපි අපි ළඟ ඉන්නවනම්
නිවනත් එයමැයි සිතෙයි...

ඉහලට ඉහලට
ඉහලට යන පටි
මෝස්තරයට
පහලින් පහලින්
කකුල වටා
එතෙනා වැරහැලි සවියට...
මේ සෙරෙප්පුව
හරියටම හරි
කෙලීගෙ කකුලට.
තව එකක්
ඕනැලු
පොඩි එකාටත්...
කෝ...
අඩු ගානෙ,
තව
එක
හිස්
බෝතලයක්...

ඔන්න ඔය ටිකත්
දීලම යන්න
මහත්තයා.
මොන තරම් දේවල්
දුන්නත් ජීවිතය
නෑ කිසිම දෙයක්
දුන්නේ බඩට...
අම්මයි තාත්තයි
වැටිලා ඉන්න පැලට
අපි ගෙනියන දෙයක් තමයි...
දෙයියනේ... කෑමට.
අනේ මහත්තයා
සත්තමයි,
බඩජාරි කමට නෙමෙයි.....

රඟ මඩලෙහි ඉඩ තිබේ
රඟන්න රැගුමක් ඇතිනම්
ඔබටත් අවසර තිබේ
ආඥාව පතුරුවන්න
සොදුරු අයෙක් පැමිණ සිටී
ඔබ වෙනුවෙන් මුමුණන අය
වේදිකාව දෙපස සිටී
පෙළක් තිබේ නම් ඔබ ලඟ
වේදිකාව බලා හිදී
ටිකට් විකිණිලා ඉවරයි
රසිකයො පොර කකා හිදී
පෙළක් තියේනම් ඔබ ළඟ
එන්න එන්න ඉක්මනටම
ටිකට් විකිණිලා ඉවරයි...
ටිකට් විකිණිලා ඉවරයි...
මොනවා හෝ කරළිය මත
පෙන්වන්නට සිදුව තිබේ...