Tuesday, September 27, 2016

සීතාවන්ට සෙනෙහසිනි

දසිස් මට කුමටද
දැල් එලන
සැළසුමින් සැළසුමට
වෙහෙස වන්නට

හදවත් දහයක් විනම්
වියැලී මියෙන හදවතක
වේදනාවන් ටික ටික
බෙදා ගන්නට

එකල නම් මේ තනි පපුව යට
පණ ගැහෙන හදවත් ම සහසක් විය
ආදරේ බිඳක් හෝ නො අඩුව
නුඹට දෙන්නට

Thursday, September 22, 2016

ඔබ යන්න

සන්සුන් නෙතක් යට
නොසන්සුන් සිත
සැඟවිය හැකිය

නෙතු දෑල සිනහවක
කඳුළු සැඟවිය හැකිය

නුඹට...
හැර යා හැකිය
මට...
සිනාසී
පෙන්විය හැකිය.

යතුර

ඔබ දෙදෙන එක්වී
කියවනවාද මගෙ කවි
වචන යට තියෙනවා
නො පැහැදිලි
දියණියකගේ කඳුළු
නො වියලි

ආදරය යැයි නම් දී
අනුරාගයෙන් මත් වී
කිලිටි වූ සයනයක
උඩුකුරුව ඇලවී
කියවන විටදි මෙ අකුරු
දෙ ඇස පුරවනවද කඳුළු

පෙරදා නොවූ තරමට
අලසව උකටලිව හොඳටම
දූ පොඩ්ඩ අරගෙන තුරුළට
තනිව ම සුසුම් ලමි මම

මධුසමය නිමවා
එන විට දි අප ගෙනා
මල් පෝච්චිය තවමත්
සුපුරුදු තැන ම තියා ඇත
ආවොත් කිසිත් නො දැන ම
යතුර තවමත් එහි ඇත

හිත උනත් හැදෙනවා හෙමිහිට

මුළු ප්‍රේම කතාවම අපේ
බොලඳ නවකතාවක් වගේ

ලියූ දින පෙම් කවිය
අනාවැකියකි නුඹගේ
සසර සැරි සරන තෙක්
අපි අපේ
අපි අපේ

වෙන්වු දින අප - නුඹට රිසි සේ
මුදු කෙඳුරුමකි රහසේ
මියෙන්නට පෙර දින
කියන්නම් හැම රහසක් ම සිතුසේ

කාලයක් ගතවෙමින් යනකොට
හිත උනත් හැදෙනවා හෙමිහිට
පෙම් පුරානේ කැලැල් දකින කොට
හරි හිනා
නුඹත් පෙම් කළා කියන කොට

සුබ නිමිති

ඉස්සර දවස්වල
දුටුව සුබ පෙර නිමිති ම
අදත් ඉඳහිට
දකිනවා ඒ ලෙසට ම

ඒත් කෝ සුබ ඵල
ඒ දවස් වල වගේ අත්වුන

සුබ ඵලය...
නුඹම, නුඹෙ හිත ම මිස
නිමිත්තක නොවන බව
දනිමි මම
හොඳ හැටි දනිමි මම
ඉතිං ඒ ඉස්සර
මම...
කවියෙක් වෙන්න ඉස්සර

සොඳුරු හැන්දෑ වරු වල
අපි සතුටින් ම ගත කළ
මතකයන් ඇත පෙම්බර

ආ ගිය තොරතුරු ද
කවි, නවකතා විස්තර ද
අළුත් රෙසිපියෙ කෑම ද
බෙදා ගත් හැටි මතක ද

අයිෆෝන් අයිපෑඩ් ටැබ් වලට
ඒ සොඳුරු වරු දන් දූන් පසුව
කවියෙක් වෙනවා ම හැරුණු කොට
වෙන මොනවවත් ඉතිරි විද මට

සෘතු

සියලු මල් බිම හෙලූ පසුවත්
ගස හිඳියි සොළවමින් තුරුපත්
සියලු තුරුපත් හැලුනු පසුවත්
වගේ වගකුත් නැතුව පසුවෙත්

සෘතුවෙන් සෘතුවට කොහොමත්
මුහුණ දෙන්නට ගසක් සවිමත්
බලන් ඉමු අපි එ ගස ආයෙත්
හස නගන'යුරු සමග කිරිදත්